මේක ටිකක් වෙනස් විදියෙ කතාවක්. ඇත්තටම කිව්වොත් ටිකක් නෙවෙයි ගොඩක් වෙනස් කතාවක්. අපි අතරෙම තියෙන ඒත් අපි ගොඩ දෙනෙක් නොදන්න කතාවක්. එක විදියකට ගත්තොත් බය හිතෙන කතාවක්. මට ඔට්ටු අල්ලන්න පුළුවන් අපි බලලා තියෙන හොල්මන්, අවතාර සම්බන්ධ කතා, එහෙම නැත්නම් වෙනත් විදියේ ත්‍රාසජනක කතා වලට වඩා සෑහෙන බය හිතෙන කතාවක් මේ ෆිල්ම් එකේ තියෙනවා කියලා. මොකද මේක මනඃකල්පිත කතාවක් නොවී ලෝකෙ ඇත්තටම සිදු වුණු කතාවක් පදනම් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටියක් නිසා.
හැබැයි මේ කතාවෙ හොල්මන්, අවතාර, රාක්ෂයො, දාම ඝාතකයො (serial killers) වගේ කවුරුවත් නැහැ. මේකෙ ප්‍රධාන චරිත විදියට ඉන්නේ පොඩි ගෑණු ළමයෙකුයි එයාගෙ ගුරුවරියයි. ඒ වගේම මේක අයිති වෙන්නේ චරිතාපදාන චිත්‍රපටි (biographical film, biopic) ගණයට. ඉතින් මොකක්ද මේකෙ තියෙන ඔය තරම් බය හිතෙන කාරණාව…? හරි, එහෙම බය හිතෙන්න නම් මේ කතාවෙ සිදුවීම අපට ආදේශ කරගෙන පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා.
අපිට හරි, අපි ආදරය කරන කෙනෙක්ට හරි මේ වගේ දෙයක් වුණොත් අපි මොකද කරන්නේ. ලෝකෙ කාගෙන්වත් උදව්වක් හොයාගන්න බැරි, හැමෝම වගේ විසඳුමක් නැහැ කියලා කියන ලොකු ප්‍රශ්නයක් අපිට උදා වුණොත් අපි මොකද කරන්නේ? අඬනවා… ඔව්, ඒක තමයි ඉතින් වැඩි දෙනෙක් සම්බන්ධයෙන් කියන්න වෙන උත්තරේ නේද? මානසිකව වැටෙනවා, සියදිවි නසාගන්න හිතනවා එක්කෝ නැත්නම් මුකුත් නොකර ජීවිතේ ඔහේ ගත වෙන්න අරිනවා. බොහොම ටික දෙනෙක් තමයි ප්‍රශ්නයක් ආවම විසඳුමක් හොයාගන්න මහන්සි වෙන්නේ. ඒ අතරිනුත් කීප දෙනෙක් තමයි ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙනකම්ම දිගටම උත්සාහවත් වෙන්නේ. අපි උත්තර නැහැමයි කියලා හිතන සමහර ප්‍රශ්න වලටත් උත්තර හොයාගත්ත මිනිස්සු ලෝකෙ ඉඳලා තියෙනවා, දැනුත් ඉන්නවා, අනාගතයෙත් ඉඳීවි. හැබැයි සමහර ප්‍රශ්න වලට තියෙන ඒ උත්තරේ හොයාගන්න එක ලේසි දෙයක් නම් නෙවෙයි.
අහලා තියෙනවද හෙලන් කෙලර් ගැන? ලංකාවෙ අපි නම් වැඩිය දන්නේ නැති වුණාට ඇමෙරිකාවෙ ටිකක් ප්‍රසිද්ධ චරිතයක් තමයි හෙලන් කෙලර් කියන්නේ. ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන මේ The Miracle Worker කියන චිත්‍රපටියෙන් කියවෙන්නේ මේ හෙලන් කෙලර්ගේ කතාව. හැබැයි එයාගේ සම්පූර්ණ ජීවිත කතාවම නෙවෙයි. එයාගේ පොඩි කාලෙ, ඒ කියන්නේ අවුරුදු 7 – 8 වගේ වයසෙදි සිද්ධ වුණු ජීවිත පරිවර්තනය ගැන තමයි මේ චිත්‍රපටියෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ.
ඉතින් ඊට පස්සේ, ඒ කියන්නේ මේ ජීවිත පරිවර්තනයෙන් පස්සේ මොකද වුණේ? ඔව්, ඒ ටික අපිට චිත්‍රපටියෙන් දකින්න වෙන්නේ නැති නිසා මම ඒ ගැන ඉස්සරහට විස්තර කරලා තියෙනවා. ඒත් මට තවමත් කියන්න බැරි වුණානෙ මොකක්ද මේ බය හිතෙන කාරණාව කියලා. ඒ ගැන ලිපියේ ඉස්සරහට විස්තර කෙරෙනවා. ඉතින් ඒ බය හිතෙන කාරණාවත් එක්ක එන ප්‍රශ්න වලින් ගොඩ යන්න නම් ජීවිත පරිවර්තනයක් සිදු වීම අත්‍යවශ්‍ය දෙයක් වෙලා තිබුණා. එහෙම වුණේ නැත්නම් හෙලන්ට උරුම වෙලා තිබුණේ එක දෙයක් විතරයි. ඒ තමයි සදාකාලික අඳුර!
හෙලන්ගේ කතාව කියන්න කලින් මම ඔයාලට චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියලා ඉන්නම්. චිත්‍රපටිය නිකුත් වුණේ නම් 1962 දී. අපෝ කමකට නැති පරණ චිත්‍රපටියක්නේ කියලා හිතෙනවත් ඇති නේද? මම චිත්‍රපටිය හොඳම එකක්, සුපිරියක් කියල කියන්න යන්නේ නැහැ. මොකද ඒක තීරණය වෙන්නේ එක එක්කෙනා පෞද්ගලකව ඒ දිහා බලන කෝණයෙන් කියලා මම හිතන නිසා. හැබැයි මට කියන්න පුළුවන් මම චිත්‍රපටියට කැමතිද නැද්ද කියලා නම්.
කොහොම වුණත් සමහර වෙලාවට ගොඩාක් දෙනෙක් හොඳයි, සුපිරියි කියලා කියන චිත්‍රපටි පවා අපිට එච්චර සෙට් නැහැ වගේ දැනෙන අවස්ථා ඉතින් ඕගොල්ලොත් අත් විඳලා ඇති. ඒ නිසා තමයි අපිට චිත්‍රපටියෙ කතාව පැත්තට අවධානය යොමු කරන්න වෙන්නේ. ඒකෙන් අපිට පුළුවන් වෙනවා අනිත් අය චිත්‍රපටියට කැමතිද නැද්ද කියන එකට වඩා චිත්‍රපටියෙ කතාවට අපි කැමතිද නැද්ද කියන එක මත චිත්‍රපටියක් තෝර ගන්න. හරි තාමත් මම හෙලන්ගේ කතාව කිව්වෙත් නැහැ, චිත්‍රපටිය ගැන කිව්වෙත් නැහැ, ඒ වෙනුවට වෙන කතාවක් පටන් අරං නේද? ඉතින් මට කියන්න ඕන වුණේ චිත්‍රපටි පරණ වුණ පළියට කතාව රසවත් නොවෙන්නේම නැහැ කියන එක. හරි, එහෙනම් අපි යමුකො විස්තරේට.
මේ චිත්‍රපටිය IMDB දර්ශකයේ 8.1 ක අගයක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම 1963 දී පැවත්වුණ 35 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ දී හොඳම නිළිය සහ හොඳම සහාය නිළිය කියන අංශ දෙක සඳහා වන සම්මාන ද්විත්වයම දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ ඈන් සලිවාන් චරිතය රඟපෑම වෙනුවෙන් ඈන් බැන්ක්‍රොෆ්ට් හොඳම නිළිය විදියටත්, හෙලන් කෙලර් චරිතය රඟපෑම වෙනුවෙන් පැටී ඩියුක් හොඳම සහාය නිළිය විදියටත් තමයි සම්මානයට පාත්‍ර වෙලා තියෙන්නේ.
මේ සිදුවීම ඔස්කාර් සම්මාන ඉතිහාසයේ සුවිශේෂී වෙනවා. මොකද හොඳම චිත්‍රපටය සඳහා නිර්දේශ නොවූ චිත්‍රපටයක්, හොඳම රංගනය සඳහා වන ඔස්කාර් සම්මාන දෙකක් දිනා ගත්ත පළමු අවස්ථාව එය වීම නිසා. මේ විදියෙ අවස්ථා ඔස්කාර් ඉතිහාසයේ තවත් වාර්තා වෙන්නේ එකක් විතරයි. ඒ, ඊට පස්සේ අවුරුද්දේ, ඒ කියන්නේ 1964 දී Hud චිත්‍රපටිය විසින් හොඳම රංගනය සඳහා වූ සම්මාන දෙකක් දිනා ගැනීම.
ඒ වගේම තමයි ඔස්කාර් සම්මානය දිනා ගද්දී පැටී ඩියුක් ගේ වයස අවුරුදු 16 ක් වුණා. ඒ නිසා ඇය තමයි ඒ කාලෙදි තරගකාරී අංශයකින් ඔස්කාර් සම්මානයක් දිනා ගත්ත ලබාලතම පුද්ගලයා හැටියට සැළකුණේ. The Miracle Worker චිත්‍රපටිය ඉස්සල්ලා කිව්ව සම්මාන දෙකට අමතරව හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිරපිටපත සහ හොඳම ඇඳුම් නිර්මාණය කියන අංශ වලින් තවත් ඔස්කාර් සම්මාන තුනකට නිර්දේශ වෙලා තියෙනවා. ඉතින් ඒ 1962 අවුරුද්දේ තිරගත වුණු චිත්‍රපටි අතරින් ඔස්කාර් සම්මාන එකකට වඩා දිනා ගන්න සමත් වෙන්නේ චිත්‍රපටි 4 ක් විතරයි. The Miracle Worker හැරුණම ඒ සමත් කම පෙන්නලා තියෙන්නේ ඔස්කාර් සම්මාන 7 ක් දිනා ගත්ත Lawrence of Arabia, සම්මාන 3 ක් දිනා ගත්ත To Kill a Mockingbird සහ සම්මාන දෙකක් දිනා ගත්ත The Longest Day කියන චිත්‍රපටි ත්‍රිත්වය තමයි.
ඉතින් 1963 ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වෙන්න අවුරුදු 8 කට කළින් 1955 දී පැවැත්වුණු 28 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ දී විශේෂ සිද්ධියක් වෙනවා. ඒ සිද්ධිය අපේ කතා නායිකාව වෙන හෙලන් කෙලර්ට සම්බන්ධයි. ඒ තමයි, ඒ අවුරුද්දේ හොඳම වාර්තා චිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්න සමත් වෙන්නේ හෙලන් කෙලර් ගේ ජීවිතය පදනම් කරගෙන නිර්මාණය වුණු Helen Keller in Her Story කියන වාර්තා චිත්‍රපටිය වීම.
1954 දී ඒ වාර්තා චිත්‍රපටිය නිර්මාණය වෙද්දී හෙලන් කෙලර් ගේ වයස අවුරුදු 74 ක් වුණා. ඒ චිත්‍රපටියේ හෙලන් කෙලර්ගේ වැඩිහිටි ජීවිතය, ඒ කාල වකවානුවේ දී ඇය ජීවත් වුණු විදිය, ඇය ගිය විදෙස් සංචාර, යුද්ධයේ දී තුවාල ලැබූ රණවිරුවන් හමුවන හැටි, නොයෙකුත් අබාධ සහිත පුද්ගලයින් මුණ ගැසී ඔවුන් දිරිමත් කරන ආකාරය වගේ නොයෙකුත් දේවල් විදහා දැක්වුණා. ඉතින් මම කළිනුත් කිව්වා වගේ අපි අද කතා කරන The Miracle Worker චිත්‍රපටියේ තියෙන්නේ හෙලන් කෙලර් ගේ ළමා කාලය ගැන.
1962 දී නිකුත් වුණු චිත්‍රපටියට අමතරව The Miracle Worker කියන නමින්ම 1979 සහ 2000 වර්ෂ වලදී, හෙලන් කෙලර් ගේ ළමා කාලය තේමා කරගෙන තවත් චිත්‍රපටි දෙකක් නිකුත් වෙලා තියෙනවා. එම චිත්‍රපටිත් විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා.
මේ චිත්‍රපටි වලට අමතරව 1957 දී The Miracle Worker යන නමින්ම නාට්‍යයකුත් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. ඒ නාට්‍යයේත් ප්‍රධාන චරිත රඟ දක්වලා තියෙන්නේ කළින් කිව්ව ඔස්කාර් සම්මාන ලාභී ඈන් බැන්ක්‍රොෆ්ට් සහ පැටී ඩියුක් කියන නිළියන් දෙපළ විසින්ම තමයි. තව 1984 දී, Helen Keller: The Miracle Continues යන නමින් රූපවාහිනය වෙනුවෙන් නිර්මාණය වුණු චිත්‍රපටියකුත් විකාශය වෙලා තියෙනව. මීට අමතරව හෙලන් කෙලර්ගේ ජීවිත කතාව ආභාෂ කරගෙන නිර්මාණය වුණු හින්දි චිත්‍රපටියකුත් 2005 වර්ෂයේ දී තිරගත වෙනවා. එහි ප්‍රධාන චරිත රඟ දක්වන්නේ අමිතාබ් බච්චන් සහ රාණි මුකර්ජි විසින්. මේ චිත්‍රපටියත් සෑහෙන සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලබලා තියෙනවා. ඒ චිත්‍රපටිය තමයි Black චිත්‍රපටිය.
ඉතින් කවුද මේ හෙලන් කෙලර් කියන්නේ? ඇය ගැන මේ තරම් චිත්‍රපටි, නාට්‍ය බිහිවෙන්න තරම් මොකක්ද තිබුණු විශේෂත්වය? චිත්‍රපටි, නාට්‍ය විතරක් නම් මදැයි, තව ඇය ගැන ලියවෙච්ච පොත්, පුවත්පත් වාර්තා, ඇය ගැන නිර්මාණය වෙච්ච රූපවාහිනී වැඩසටහන්, යූටියුබ් වීඩියෝ, ඇගේ නමින් බිහිවුණු පදනම් ආයතන, යූටියුබ් නාලිකා, ඇගේ නමින් නම් කෙරුණු දිනයන්, ඇය වෙනුවෙන් ඉදි කෙරුණු ප්‍රතිමා ආදී වශයෙන් තවත් බොහෝ දේවල් මේ ලැයිස්තුවට අයිතියි. හෙලන් කෙලර් ඉපදුණේ 1880 ජුනි 27 වෙනිදා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ, ඇලබාමා වල, බටහිර ටස්කම්බියා වල දී, ආතර් හෙන්ලි කෙලර් සහ කැතරින් එව්‍රට් කෙලර් යන දෙපළට දාව.
ආතර් හෙන්ලි කෙලර් කියන්නේ ඇමෙරිකන් සිවිල් යුද්ධ කාලෙදි කන්ෆෙඩරේට් හමුදා වල හිටපු කැප්ටන් කෙනෙක්. (මේ ඇමරිකන් සිවිල් යුද්ධය හා සම්බන්ධ සිදුවීම් ගැන චිත්‍රපටිය තුළ තැනින් තැන කතා වෙනවා. ඒ කතා බහ චිත්‍රපටියේ ප්‍රධාන කතා තේමාවට ලොකු අදාළත්වයක් නැති නිසාත් මම මේ යුද්ධය ගැන කෙටි පැහැදිලි කිරීමක් The Last Samurai චිත්‍රපටියට ලියපු ලිපියේ කරලා තියෙන නිසාත් ආයෙත් ඒ ගැන ලියන්න යන්නේ නැහැ.) මේ ආතර් කෙලර් පවුල වහල් හිමි ධනවත් පවුලක් වුණා.
හෙලන්ට වයස මාස දහ නවයක් වෙද්දී ඇති වුණු රෝග තත්ත්වයක් නිසා අභාග්‍යසම්පන්න විදියට ඇගේ දෑස් නොපෙනී යනවා. ඒ විතරක් නෙවෙයි, ඒ රෝගය නිසා හෙලන් බිහිරි බවටත් පත් වෙනවා. මේ රෝග තත්ත්වය මොකක්ද කියලා වෛද්‍යවරුන් අතරත් පවතින්නේ විසංවාදයක්. දැන් පූර්ණ අන්ධ සහ පූර්ණ බිහිරි බවට පත් වුණු ළදරු හෙලන්ට කිසිම දෙයක් පේන්නෙත් නැහැ, කිසිම දෙයක් ඇහෙන්නෙත් නැහැ. මාස දහ නවයක් (අවුරුදු 1 1/2ක්) කියන්නේ භාෂාවක් පුළුවන් වෙන වයසකුත් නෙවෙයි, ඒ වෙනකල් දැකපු, අහපු දේවල් ලොකුවට මතකෙට යන වයසකුත් නෙවෙයි.
දැන් හෙලන් ටිකෙන් ටික ලොකු වෙනවා, මුකුත් පේන්නේ නැති, මුකුත් ඇහෙන්නේ නැති අඳුරු නිහඬ ලෝකෙක තනිවෙලා. ඇයට කිසිම දෙයක් උගන්වන්න හෙලන්ගේ දෙමව්පියන්ට තේරෙන්නෙත් නැහැ. මෙන්න මේක තමයි මම මුලින්ම කියපු භයානක සිද්ධිය. මෙතනදි හෙලන් වගේම හෙලන්ගේ දෙමවුපියොත් අසරණ වෙලා. ඒ කාලේ හැටියට උදව්වක් ගන්න පුළුවන් කෙනෙක්, තැනක් තියෙනවද කියලවත් ඔවුන්ට අවබෝධයක් නැහැ. දෙමවුපියනුත් තමන්ගේ දරුවට අත් වුණු අවාසනාවන්ත ඉරණම ගැන හැඬූ කඳුලෙන්. දෙමවුපියො නැති වෙලා හෙලන් තනිවුණු දවසක ඇයට අත්වන ඉරණම ගැන ඊටත් වඩා මහ දුකක්.
ප්‍රාථමික මට්ටමේ සංඥා කීපයක් හැරුණම වයස අවුරුදු හත වෙද්දිත් හෙලන්ට ලෝකය ගැන, තමන් හැසිරෙන්න ඕන විදිය ගැන, ගුණධර්ම, ආදරය, කරුණාව වගේ මිනිස් හැඟීම් ආදිය ගැන සැළකිය යුතු මට්ටමේ අවබෝධයක් ලැබිලා තිබුණේ නැහැ. දෙමව්පියනුත් තමන්ගෙ දරුවට තියෙන ආදරය සහ ඇගේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ආබාධිත බව ගැන තියෙන අනුකම්පාව නිසා ඇයව හික්මවන්න මහන්සි නොවී හෙලන්ට කැමති පරිදි දේවල් සිදු කරන්නට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කර තිබුණා. ඒකෙන් තත්තවය වඩාත් නරක අතට හැරෙමින් තිබුණා. හෙලන් හැසිරෙමින් හිටියේ හීලෑ නොකළ වන සත්ත්වයෙකුට ආසන්න විදියට!
තමන්ගේ ඒ අඳුරු ළමා විය පිළිබඳ මතකයන් හෙලන් සිය ස්වයං චරිතාපදානය තුළ හෙළිදරව් කරලා තියෙන්නේ මේ විදියට.
මගේ අසනීපයෙන් පසු පළමු මාසවලදී සිදුවූයේ කුමක්දැයි මට මතක නැත. අම්මා ගෙදර වැඩ කරද්දී මම අම්මාගේ ඔඩොක්කුවේ ඉඳගෙන හෝ ඇඳුමේ එල්ලී සිටි බව පමණක් මම දනිමි. මගේ දෑතට සෑම වස්තුවක්ම දැනුණු අතර එමගින් ඒවායේ සෑම චලනයක්ම නිරීක්ෂණය කරමින් මම බොහෝ දේ දැන ගැනීමට ඉගෙන ගතිමි. වැඩි කල් නොගොස් මට අන් අය සමඟ යම් සන්නිවේදනයක අවශ්‍යතාවය දැනුණු අතර ගොරහැඩි සංඥා සටහන් කිරීමට පටන් ගත්තෙමි. හිස සෙලවීමකින් “නැහැ” යන්නත්, “ඔව්” යන හිස වැනුමෙන් “එන්න” යන්නත්, තල්ලු කිරීමකින් “යන්න” යන්නත් අදහස් විය. මට අවශ්‍ය වූයේ පාන්ද?
එවිට මම පෙති කපා බටර් ගා කරන ක්‍රියාවන් අනුකරණය කරමි. මට මගේ අම්මාට රාත්‍රී ආහාරය සඳහා අයිස්ක්‍රීම් සෑදීමට අවශ්‍ය නම්, මම අධිශීතකරණයේ වැඩ කරන බවට ලකුණක් සාදා සීතල අඟවමින් වෙව්ලමින් සිටියෙමි. එපමණක්ද නොව, මගේ මව මට හොඳ අවබෝධයක් ලබා දීමට සමත් විය. ඇයට මා ලවා යමක් ගෙන්වා ගැනීමට අවැසි වූ සෑම විටම මා එය දැන සිටි අතර, මම ඉහළ මාලයට හෝ ඇය පෙන්වා දුන් වෙනත් ඕනෑම තැනකට දුවමි. ඇත්ත වශයෙන්ම, මගේ දිගු රාත්‍රියේ දීප්තිමත් හා යහපත් වූ සියල්ලටම මම ඇගේ ආදරණීය ප්‍රඥාවට ණයගැති වෙමි.
මම අනෙක් මිනිසුන්ට වඩා වෙනස් බව මට මුලින්ම වැටහුණේ කවදාදැයි මට මතක නැත; නමුත් මගේ ගුරුවරිය මා වෙත පැමිණීමට පෙර මම එය දැන සිටියෙමි. අම්මා සහ මගේ යහළුවන් ඔවුන්ට යමක් සිදු කර ගැනීමට අවශ්‍ය වූ විට මා මෙන් සංඥා පාවිච්චි නොකර කටින් කතා කරන බව මම දැක තිබුණෙමි. සමහර වෙලාවට මම කතා කරන දෙන්නෙක් අතරේ හිටගෙන ඔවුන්ගේ තොල් ඇල්ලුවෙමි. මට තේරුම් ගැනීමට නොහැකි වූ අතර, මම කෝපයට පත් වීමි. මම මගේ තොල් එහා මෙහා කර කර වියරුවෙන් සංඥා කළෙමි.
මේ නිසා මට වෙලාවකට කොච්චර කේන්ති ගියාද කියනවා නම් මම පයින් ගසමින් කෑ ගැසුවෙමි. මා සිතන පරිදි මා නරකට හැසිරෙමින් සිටි බව මම දැන සිටියෙමි, මොකද මම දැනගෙන හිටියා මගේ නර්ස්, මගේ හෙදියට පයින් ගැසීම නිසා ඇයට රිදෙනවා කියලා, මගේ කේන්තිය ඉවර වුණාම මට පසුතැවෙන්න වගේ හැඟීමක් ඇති වුණා. නමුත් මට අවශ්‍ය දේ ලබා ගැනීමට මා අපොහොසත් වූ විට එම අශිෂ්ටත්වය නැවත නැවත කිරීමට මෙම හැඟීම මට බාධා කළ කිසිදු අවස්ථාවක් මට මතක නැත.
ඔන්න ඔය කාලෙදි තමයි චාල්ස් ඩිකන්ස් කියන ලෝක ප්‍රසිද්ධ ඉංග්‍රීසි ජාතික ගත් කතුවරයා ඇමෙරිකාවෙ සංචාරයක නිරත වෙලා තමන්ගේ සංචාරක අත්දැකීම් අළලා ඇමෙරිකන් නෝට්ස් කියන වාර්තාව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. වාසනාවකට වගේ මේ වාර්තාව කියවන්න ලැබෙනවා හෙලන්ගේ අම්මට, ඒ කියන්නේ කැතරින් කෙලර්ට. ඒ 1886 දී. කොහොමද මේ සංචාරක අත්දැකීම් වාර්තාවක් කියවන එක වාසනාවක් වෙන්නේ? ඒ මොන හතර බීරි කතාවක්ද?
හරි, ඒ වාර්තාවේ සටහන් වෙලා තිබුණා එක සුවිශේෂ දෙයක්. අන්න ඒ නිසා තමයි ඒක වාසනාවක් වෙන්නේ. වාසනාවක් කිව්වට ඒ වාසනාව නිකම්ම උදා වෙන්නේ නැහැ. සෑහෙන මහන්සි වෙන්න වෙනවා. (ඒ වාසනාව උදා කර ගැනීමේ කතාව තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.) ඩිකන්ස් ගේ සංචාරක වාර්තාවේ තිබුණා ඔහු ඇමෙරිකාවෙදි දැකපු පුදුම සහගත දෙයක්. ඒ තමයි ලෝරා බ්‍රිජ්මන් කියන පූර්ණ අන්ධ සහ බිහිරි කාන්තාව සාර්ථක අන්දමින් අධ්‍යාපනය ලබා තිබෙන ආකාරය පිළිබඳ කතාව.
මේකෙන් හෙලන්ගේ අම්මා සෑහෙන බලාපොරොත්තු සහගත වෙනවා තමන්ගේ දුව, හෙලන් වෙනුවෙන් කිසියම්ම හෝ දෙයක්, අධ්‍යාපන වැඩපිළිවෙලක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කැතරින් ගේ පෙළඹවීම නිසා හෙලන්ගේ තාත්තා, කැප්ටන් කෙලර් හෙලන්ව එක්ක ගෙන යනවා වෛද්‍යවරෙක් ළඟට. ඇයව පරීක්ෂා කරන වෛද්‍යවරයා ඔවුන්ව යොමු කරනවා ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ළඟට. ඔව්, ඒ සුප්‍රසිද්ධ විද්‍යාඥයා ඒ කාලේ බිහිරි ළමුන් පිළිබඳව පර්යේෂණ කටයුතු කරමින් ඉඳලා තියෙනවා.
ඒ නිසා තමයි වෛද්‍යවරයා ඔවුන්ව බෙල් ළඟට යවලා තියෙන්නේ. බෙල් ඔවුන්ට කියනවා ලෝරා බ්‍රිජ්මන් ඉගෙන ගත්ත දෘශ්‍යාබාධ සහිත වූවන් සඳහා වන පර්කින්ස් පාසලෙන් ඒ ගැන විමසීමක් කරලා බලන්න කියලා. ඉතින් ඒ පාසලේ ප්‍රධානියා විසින්, එහිම ආදි සිසුවියක් වෙන ඈන් සලිවාන්ව, හෙලන්ට ගුරුහරුකම් ලබා දීම සඳහා හෙලන්ගේ නිවසට එවනු ලබනවා. ඉතින් ඒ ආවට පස්සේ මොකද වෙන්නේ කියලා ඕගොල්ලන්ට චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්.
හෙලන් ගේ කතාව පේන තරමටම දුක්ඛ දායක වුණේ නැහැ. හෙලන් පස්සෙ කාලෙක ලෝක ප්‍රසිද්ධියට පත් වෙනවා. චිත්‍රපට ගණනාවකට පදනම වුණු ඇගේ ජීවිත කතාව ලියා එළි දක්වනවා. තවත් කෘති ගණනාවක් රචනා කරනවා. ඇය කතා කරන්නත් ඉගෙන ගන්නවා. බ්‍රෙල් යතුරු ලියනය වගේම සාමන්‍ය යතුරු ලියනයත් ඇය භාවිතා කරනවා. ලෝකය වටෙන්ම ඇයට ලිපි ලැබෙනවා. ඇය දේශන පවා පවත්වනවා. ඉතා අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ පාන්න සිදු වුණා වුණත් හඬා වැළපෙමින් නොසිට කළ යුතු දේවල් කරපු නිසාත්, ඇගේ ගුරුවරිය වුණු ඈන් සලිවාන්ගේ අසීමිත කැපවීම නිසාත් අවසානයේ දී හෙලන් කෙලර් යන නම ලෝකයේ අමරණීය නමක් බවට පත් කරමින් හෙලන් කෙලර් අවුරුදු 87 ක් ජීවත් වී 1968 ජුනි 1 වැනිදා මෙලොවින් සමු ගත්තා.
එහෙනම් වෙනදා වගේම චිත්‍රපටිය නරඹලා රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්!
ජය වේවා!!
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ NCJD සහෝදරයගෙ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න