ආදරේට සීමා මායිම් නෑ කියනවනේ. එහෙම කියන්නේ මොකද ඉතින්, දෙන්නෙක් ආදරේ කරන්න ගත්තම අන්ධයෝ වගේ ආදරේ කරන්න ගන්නවා මිසක්කා බාහිර හේතු කාරණා කිසි දෙයක් ගැන සලකන්නේ නෑ නොවැ. ඔය කියන නොසැලකිල්ල හින්දමනේ දවස ගානේ : අර ආගමේ එකා මේ ආගමේ එකීව බැන්දය, අර කුලේ එකී මේ කුලේ එකාගේ කරේ එල්ලුනාය, අර වයසින් වැඩි අම්මණ්ඩි මගේ පොඩි එකාව දැලේ දාගත්තය වගේ නානාප්‍රකාර කතන්දර අහන්න දකින්න ලැබෙන්නේ. ඔය කිසිම දෙයක් සාධාරණීකරණය කරනවා නෙමේ. ඒත් ඉතින් ඔය ඔක්කොටම වඩා පරණ කතාවකුත් තියෙනවනේ “හිත ගිය තැන මාලිගාවය” කියලා.
ඉතින් කෙනෙක්ට තව කෙනෙක්ට හිතක් යද්දී එයාගේ ජාතිය, ආගම, කුලය, වයස වෙන එකක් තියා අදාළ කෙනා විවාහකද අවිවාහකද කියලවත් හිතන්නෑ නොවැ. ඔය වෙලාවල් වලදී ඕන කෙහෙල් මලක් වෙද්දෙන් කියලා සමාජ සම්මතය කියන කඩුල්ලෙන් පැනලා ගිහින් තමන්ගේ හිත ඉල්ලන ආදරේ ලබාගන්න අය, ලබාගන්න උත්සහ කරන අය මේ සමාජයේ හිසේ කෙස් ගාණට ඉන්නවා. කෙස් ගාණට ඉන්නවා කියන්නේ, ඔය අසම්මතයන් සම්මතයන් කියලා හිතෙන තරමටම ඔය සිද්ධීන් අපිට අහන්න දකින්න තියෙනවා. කොහොමහරි ඔය උඩ කියපු, ‘සමාජ සම්මතයට’ පයින් ගහපු ඈයන්ට පවා “ඊයා අනේ” කියලා කියවෙන තව අසම්මත ආදර කැටගරියක් ඉන්නවා. ඒ තමයි ලිංග භේදය නොසළකා ආදරය කරන උදවිය. උඩ කියපු අය වගේම තමයි, ඔවුනුත් සමාජයෙන් පනවපු යම් සීමාවක් නොසළකා ආදරය කියන හැඟීමට ප්‍රමුඛත්වය දුන් කොට්ඨාශයක් වුණත්, ‘සමලිංගිකයින්’ කියලා කට ඇඹුල් කරලා හඳුන්වන, සමාජයෙන් මුල්ලකට කරලා තියන, එහෙමත් නැත්තම් අපරාධකාරයෝ ගණයට දාන ‘සත්ව’ විශේෂයක්.
“ඌ කොලුකාරයෙක් බන්’
“එයා ලෙස්බියන්ලු හලෝ. අප්පිරියයි මට නම් දකිද්දීත්”
සමලිංගිකත්වය බරපතල අපරාධයක් විදිහටයි ඉන්දියාව මෑතක් වෙන තුරුම සැලකුවේ. සමලිංගික පුද්ගලයෙකු වීම හේතුවෙන් මහාචාර්ය සිරාස්ට අත්වුණු ඉරණම, සත්‍ය සිදුවීම් අලලා නිර්මාණය වුණු Aligarh ඔය ඇත්තෝ බැලුවා නම් නොදැන ඉන්න විදිහක් නැහැ. ඒ ආකාරයේ දුක්ඛිත ඉරණමක් ඉන්දියාවේ සියළු සමරිසි අයවලුන් හට හිමි නොකරමින්, ඔවුන්ගේ හැංගි හොරා ජීවිතයට තිත තබමින් 2018 සැප්තැම්බර් 18 වෙනි දින ඉන්දියන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතිහාසගත තීන්දුවක් ලබා දුන්නා. ඒ, දෙදෙනෙක් අතර ස්ව කැමැත්තෙන් ඇතිවන සමලිංගික සම්බන්ධතාවයක් මින් ඉදිරියට අපරාධය ගණයේ ලා නොසැලකෙන බව ප්‍රකාශ කරමින්. පොට යනවට බය ඇස් තියෙන අයත් වැට පනිනවට බය හිත් තියෙන අයත් සමලිංගිකත්වය තවදුරටත් අප්‍රිය දෙයක්, රෝගයක් විදිහට සලකන අතරේ බොලිවුඩය ඉදිරියට පියවරක් තිබ්බා, ඒ ‘ප්‍රධාන ධාරාවේ සිනමාවෙන්’ සමලිංගිකත්වය සඳහා සහය පල කරන නිර්මාණ බිහිකිරීමට අවකාශය සැලසීමෙන්. පහුගිය වසරේ එලි බැහැපු Ek Ladki Ko Dekha Toh Aisa Laga චිත්‍රපටිය එයට හොඳම නිදසුනක්. ඊට පස්සේ මේ වසරේ ආපු මේ Shubh Mangal Zyada Saavdhan.
කවදත් එකිනෙකට වෙනස් තේමාවන් ඉලක්ක කරගත්තු චිත්‍රපට වලට දායක වෙන ආයුෂ්මන් කුරාණා තමයි නිර්භීතව මේ චිත්‍රපටියට එක් වෙන්නේ. සහය චරිතයට දායක වන්නේ ජිතේන්ද්‍ර. Badhaai Ho චිත්‍රපටියේ කාගේත් ආදරය දිනපු දෙන්නා දෙමහල්ලෝ ගජ්රාජ් රාඕ සහ නීනා ගුප්තා තමන්ගේ රංගන දායකත්වය මෙතනදීත් සපයනවා. පහුගිය පෙබරවාරි මාසයේ 21වෙනි දින සිට තිරගත වෙන්න ගත්තේ විචාරකයන්ගේ ප්‍රසාදයත් දිනාගෙනමයි.
විචාරක ප්‍රසාදය කොහොම වුණත් ප්‍රේක්ෂක ප්‍රසාදය කොහොමද වෙයිද කියන දෙගිඩියාව කාටත් නොතිබුණා නෙමේ. මේ ආයුෂ්මන් කුරාණාගේ චිත්‍රපටියක් කියන එකටත් එහා සමලිංගික තේමාවක් යටතේ දිවෙන චිත්‍රපටියක්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මොක වුණත් මිනිස්සුන්ගේ පටු සිතුවිලි වෙනස් කරන්න බැහැනේ. ඉතින් ප්‍රේක්ෂක ආකර්ෂණයක් මේකට ලැබෙයිද කියන ගැටලුව මෙතැනදීමුල් බැහැගත්තා. ඒත් කවුරුත් පුදුමයට පත් කරමින් පළමු දින කෝටි 9.55ක ආදායමක් උපයන්න මේ චිත්‍රපටිය සමත් වුණේ ආයුෂ්මන්ගේ නොසැලෙන තරු ගුණයට පින් සිද්ධ වෙන්න. දෙවැනි දවසෙත් තුන්වෙනි දවසෙත් පිලිවෙලින් කෝටි 11ක් සහ 12ක් ලෙස ලබාගෙන පළමු සති අන්තයේ කෝටි 32ක ආදායමක් සටහන් කරේ කවුරුත් පුදුම කරමින්. හැබැයි ඊට පස්සේ එළඹුණු දවස් වලදී පෙන්නුම් කරපු මන්දගාමී වර්ධනය නිසා තමන්ගේ සමස්ත ආදායාම කෝටි 60ට අඩුවෙන් සටහන් කරන්න මේ සලරුවට සිදු වුණා. එක පිට එක Hits, Super-Hits දුන්නු ආයුෂ්ගෙන් කාලෙකට පස්සේ ‘Semi-Hit’ එකක් ආවේ ඔන්න ඔහොමයි.